Wednesday, December 22, 2021

 නොනිමි  මතකයන් ...💖


රතුපාට ටොපි කොලෙන් 

නිල් අහසෙ හැඩ බැලුව

දොල අයිනෙ ගෙඹි පැටව් 

මාළුවන් වී දුටුව

 

ඇඟ පුරා මඩ සුවඳ

ගෙයි පුරා පැතිරෙව්ව

හොර රහසෙ පොල්බෑව

දත් වලින් හැඩ කෙරුව 

රැඳී ගත් දඟ කමක් 

අතීතය හැඩ කෙරුව 


වැලි බතුත් පොල් කට්ටෙ

ඉදෙනකල් මග බලපු

සිනාසෙන බෝනික්කෝ 

මවක් වී නිදිකරපු

නොසැඟවූ  කෙරූ දඟ 

කෝටු  පාරෙත් රැඳුන 

උනු කඳුළු බිඳු පිහිද

සිනාසුනි මදහසව


සිහිනයකි එකල ඒ

සිත් අතරමං කරන

සුරපුරක් මවන්නට 

නිමාවූ මතක පොත 

නැවත යන්නට  සිතෙයි

සතුට පිරි ඒ ලොවට

                                         සෙව්...💖







                                    

Thursday, August 26, 2021

                       

          අකැප වූ මලක් 




සුවඳ පතුරා පැතිර

පිපෙන්නට නොහැකි වුව

මලක් වී හැඩරුවට

නෙත් ඇඳෙන රූ මවන 

පුංචි මල් කැකුළු පොඩි

හිනෙහෙයි   ද විකසිතව 


බුදු පුදට මලක් වී

පිදෙන්නට වරම් නැති

වැටකඩුලු වෙන් කරන

තතු නොයෙක් එක් කරන

දුක්මුසුව හෙමි හෙමින්

හැඩකාරි පරව යන


සිත් පහද  බැති සිතින්

බුදු නමෙන් පිදෙන්නට

සුවඳවත් වීම කිම

මල් කැකුළු පුදන්නට

පිවිතුරුව විකසිතව

මග බලන කුසුමකට 

 

නමක් දී මිනීමල 

ලෙසින් අද වෙන් කරන

නහර පිනවන සුවඳ

හමන්නට නොහැකි නුඹ

පුංචි හැඩකාරී ලෙස

පිපී හිනැහේ  හෙට ද  .  

                              

                                සෙව්.....✍️





Thursday, May 13, 2021

                           සුදු පිරුවට  💔


 



හත් මාල  පළඳිමින්
හිසේ තැලි  බැන්දාට
දෑත් බැදි   මල් පොකුර 
හිනැහෙමින්   දිලුනාට 
හැඩකෙරූ  ඔසරියත් 
ගතේ රූ  මවුවාට
නොසිතුවෙමි   සළු පොටක් 
සතුට   ගිනි තබන්නේද 



රතු රෝස  මල් සැරසි
නිදි  යහනෙ   උන්නාද 
නෙත් ඉබේ  නතර වුනි
සුදු සේද  ඇතිරිල්ලේ 
අකුණු එක  පිට වැදුණු 
ගතක  මෙන්  අඩපණව 
අතීතය  සිහි කෙරුණි 
නෙත්  ඉදිරි රූ මවන 



සුන්දරව  සරසගත්
නිදියහන  මග බලන 
ගිනි ගොඩක්  ඇවිලෙමින්
තිබෙන  සැටි එහි දකින
තනිව  වරදක් කෙරූ 
බැලුමකින්  නුබ බලන 
කදුලු කැට  ඉපිල්ලුනි 
බුබුරමින්  නෙත් වසන 
දෙකපුලෙන්  බේරුණත් 
වේගයෙන්  බිම සිඹින 
දෙතැන අප  තනි කෙරුණු 
පිරුවටක්  හැඩ බලන 
 

                           සෙව්.....✍️









Friday, April 30, 2021

                 විඩාබර  ගිමන් මග 



 



තනිකමක්  උරුම දරා 
මව් කුසින්  උපන්නත්
සබදකම්  පෙළගැසී
බැඳීමත්  එක් කරත් 
මා වුවත්  මට නොවෙයි
අද පසක්   කර  කි‍‍‍‍‍‍‍‍යත්
මියයද්දී   ගෙන යන්න 
හිස් පිටුව   පෙරලුනත් 



මොහොතකට  තනිවෙමින්  
බැලූ කල  ලෝකයත් 
යදම් මෙන්  රැඳී ගත් 
දුක් සතුටු  ජීවිතත් 
මනුදමුත්  පාගමින්
ගොඩ ගැසූ  වස්තුවත් 
නොහැක  අල්ලසටවත් 
වළකන්න  කර්මයක් 



පටාචාරාවනුත්  
කිසා ගෝතමියනුත් 
පෙනෙන තෙක් මානේ 
 විසාලා නුවරකුත්
ඒදා ඒ බුදු වදන් 
පසක් කර  දෙන නමුත් 
ඇති වීම්  නැති වීම් 
රැගෙන යන   පිං පවුත් 
හුදෙකලා  ජීවිතේ 
කියාදේ   පාඩමුත්



                                              සෙව්.....✍️











Saturday, April 3, 2021



යශෝධරා  💔






බැඳුනත්  දෑඟිලි  හුයකින් එකිනෙක

කඩදහි කොලයක   අයිතිය දුන්නට

නොබැඳුණු  හදවත්  එක් කර එකිනෙක

පෝරුව බැන්දට  සොම්නස් බැඳගෙන



කාලය හිමිහිට  වෙස් පෙරළන්නට

සැඟවුණු  නළු නිළි  එළියට එන්නට

ජීවිත  රඟහල  රඟ දක්වන්නට

එක්කල පවුලයි  මා නුබ  ලංකල 



කිරිකැටි  සිනහව  සැම පතුරන්න ට

නිවහනෙ  එළියයි  පුතු ගෙන එන්නට

තනිකම හුරු සිත්  විඩා  නිවන්නට

මා ලද  මැණිකයි   පුත නුඹ සැමවිට 



දින දින වෙන්  වෙන හිමි   නුබ ගැන තතු

මා හද අවුලයි   සැඟවුණු ගිනි රතු

හීනෙන් කියවෙන  නුබ  ඔය  නම් තතු

නින්දත් සග සඟවයි   යහනත  දුක් කදු 



මහමග  දුටුවිට  නුබෙ  රූ  යන විට

බැඳි අත් අඟනක   සමගින් වෙලිගෙන 

අකුණක් විගසින්   ළය මත වන්නට

රිදුනත්  හදවත  නෙත් තෙමවන්නට 



මා පුතු  මුව දැක   දුක සඟවන්නට

මහ  සවියක්  විය   ලයට  දැනෙන්නට 

සිප ගත්තේ මුව  ගිනි රත් මුවගින්

පියනග  යන්නට  සැරසුනි හනිකෙට 



දින සති කාලය  හිමිහිට යන්නට 

මා පුතු   නුබගේ   ලොව පිට ඉන්නට

සුරතල්  පුතු  මුව  නුබ  නොබලන්නට

ඇවිලෙන  ගින්නෙක   අප රඳවන්නට



කාලය මවමින්   වෙන් කළ බැඳුමත්

නුබ මා  එක්කල   කඩදහි කොළයත්

හිනහැයි  වෙන්වෙන  කඩදහි කොළ මෙන්

සුනු කළ   හදවත පාරන රසයෙන්

 


යන්නට යන  නුබ   වළකනු  නොම  වී

සිත්  ගල්  කරගමි   පුතු රූ දුටුමී

සැනසුම  සවියක් පුත  නුබ සිතමී

තදකර  මා ලයෙ  පුතු  සිපගත්මී.


                                                          සෙව්..✍️












Friday, March 19, 2021

 අඩි  හයක අයිතියක් ..   




හිස් අතින් ලොව බලා 

මවු කිරෙන් කුස පුරා

හෙමි හෙමින් දණ ගගා

උස් මහත් වෙන සොබා 



අවධියෙන් අවධියක් 

නොදනීම  ලන්වෙලා

ජීවිතේ  ගලා යයි 

දුක සතුට  විඳ දරා



ලෝ උසස් මනුසතා

නමට නම් ගෙන දරා 

නොමනුදම්  කුහකකම්

පතුරවයි  ලෝ පුරා 



කටුකම්බි වැටි මැදින් 

වෙන් කරන මායිමත් 

කාසි කොල  ගොඩ ගසයි

සිත්  සතුටු   ගිනි තබා



මන්දිරත්  සිටු මැදුරු

ගොඩ ගැසූ  දිලෙන රන්

පොදි බැඳන්  රංගනට

සරසයි ද  රඟමඩල්



මරණයට  අත වනන

මායිමේ  ලඟ ඉඳන් 

පොදි  බැන්ද   සැම  දෙයත්

ගෙනියයි ද   ලං කරන් 



හැඩ කෙරූ   රූපයත්

අයිති  මිනි පෙට්ටගම්

අඩි හයේ   බිම් අඟල් 

සඟවගයි  පස් ගොඩන්


                                            සෙව් ...✍️




















Tuesday, March 9, 2021


                    කිරිල්ලී ....❤





ඉපනැල්ලේ  වෙල් යායේ

විදි  සුළඟ  හසරැල්ලේ 

දොළ අයිනේ  දිය කඩිති 

මග  බැලුවෙ  එක පොකුරේ

දඟකාර  කටකාර

සිඟිත්තියෙ  නුබෙ කෝල 

මා ගෙපැල   ගෝතමියි

අඳුරේ  ආලෝක දෙන



 කරවටේ   අත දමා

ලූණු කරෙ  යන් කියූ 

ගමරාළ   කතන්දර 

නිදි යහන  හැඩ කෙරූ

කාලයත්  සෙමින් අද

නෙත් වසා  නුඹ තැනූ

කෙලිලෝල  සිඟිත්ති ද 

අද ඔබම   මේ සිතූ



සරසවිය  සවිය වී

නුඹට  ඇරයුම් කෙරූ

ජීවිතේ  නැවතුමක්

නැවත  ඒ මං තැනූ

සිදාදියෙ රස්නෙ නුඹ

තවම රහ  නොව බැලූ

කෙලෙස මා  යවන්නද

නිතර සිත්  දොඩමළු 



දෝණියේ  සිදාදිය 

නුහුරු නුපුරුදු  වුවත් 

ගමේ රස  කෑම දැන් 

ඉඳහිටක  රස බලත්

කූඩුවේ  නුබ රැක්ක

කිරිල්ලී  වෙන්  උනත්

නුබම   දැන්  සවියගන්

පියඹන්න  ලොව බලන් .


                                     සෙව්...✍️















   



                       

  නොනිමි  මතකයන් ...💖 රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව ...