Thursday, January 28, 2021

       දෝණිගේ  අප්පච්චි  💔



කඩදාසි  කොලේකට  
අයිති වූ ප්‍රේමයක්
ලෝකයට පෙනෙන්නට
 මං නුබේ   හිමිකරුත් 
ව්ඳිින්නට සෙනෙහසක් 
පතිනියක නොලැබුවත්
කෝවලන්  නොවේ මා 
සොයන්නට සිත් දෙකක් 

දැන දැනත් මුසාබස් 
පිළිඅරන් ඇති සැටිත්
නොපෙන්වා වෛරයක් 
මා කළේ ප්‍රේමයක් 
දකින්නට කෝටියක්
 සිහින සිත බොඳ කළත්
සිත් නොදුනි පෙළන්නට 
පෙම් කරන හදවතක් 

එක යහනේ සැතපෙන්න 
 වරම් මා නොලැබුවත්
මා පියෙකි  ලඟදීම 
පවසනා නුඹෙ තෙපුල් 
දෙසවනේ රැව් නැගුනි
විදුලි කොටනා ලෙසත් 
නුඹ කුසේ  සුසුම්ලන 
ඒ සිඟිති දරු සෙනේ 
කෙලෙස මා පවසම් ද
නොමැති පිය පදවියේ 

දස මසක කාලයක්
 නොදැනීම නිමාවත් 
රන්ටිකිරි හඬ රැඳුණි
 ගෙපැල එළි මැවූ මත් 
හැඩකාර මෘදු බෝල 
නෙත් දෙකේ වශීයත්
සිරියාව කැන්ද එන
  ඒ කොමල  හිනාවත්  
රතු රෝස මල් කැකුළ
 මවයි රූ රටාවක් 

මා දෑත් හැඩ කෙරූ
 උනුහුමේ දඟ කෙරූ 
සිඟිති දූ මගෙම අද 
හැඟේ නෙත් තෙත්  කෙරූ
තුරුළු කර  ගත් නුබව 
හැඟුණි මට මා සුසුම 
සැමදාම නුබම බව 

දඟකාර සුරතලියේ 
"අප්පච්චි"   කියූ ඒ 
දවස මට සිහිනයකි 
හඬන්නට කඳුළු කැට
 ඉපිල්ලිනි නෙත් කොනේ 
පතන්නෙමි හැම භවයෙ 
මගේ වන්න  නුබ දියණි 

නොකීවත් උරුමකම් 
පිය උරුම ලබන්නට 
මා ළයේ රිදුම් දුන් 
වේදනා නසන්නට 
මා සුරතේ රැඳුණු  නුබෙ 
මුදු සිනිදු ඒ දෑත් 
ශක්තියයි මට වන්න 
නුඹේ සෙනේ  අප්පච්චි.
  



                                            සෙව් ......✍️

 





Saturday, January 23, 2021

                      කැඩපත ❤



පැළඳගත් වෙස් මුහුණු
වරින්වර වෙනස්වන 
වසාගත්  ඒ මුහුණු 
නියම තැන අවදි වන
ගැලවෙන්න බැඳි මුහුණු 
ඉඩකි  මං විවර වෙන
රකුසු ගුණ මතුවෙන්න 
තතු ලොවට පෙන්වන්න 


දුක් සතුටු රැගෙන එන
ජීවිතේ රඟහලකි
දකින්නට තම ගුණන්
රංගන්නට ඉඩ ලබන 
නළු ද නිලි රූ  වෙසින් 
ජීවිතය කියාදෙන


ලෝකයේ ගති ගුණෙන් 
හැම සතා හැඳිනගත් 
මනුසතා  කිසි දිනේ 
මෙසේ යැයි  නොහැදිගත්
නොපෙනෙනා රෙදිපිළිත්
නිරුවතක්  වසාගත් 
සඟවන්න දැරු වෙහෙස 
ක්‍රියාවට පෙන්වගත්
 


කැඩපතක් ඉදිරියේ 
නිහඬ ගොළු කතාවක් 
දකින  ඒ නෙත් ඔබේ
කියන ලොකු කතාවක් 
අන්ධ වූ නෙත් දෙකක්
බලන ඒ වතාවක්
හැකි වේද ඒ ලෙසින්
රඟන්නට කලාවක්


                      සෙව්......✍️






Monday, January 18, 2021

                  සුදු  නෙළුම් ....🌼





මඩ ගොහුරු  කිසිවිටෙක මිහිරිසේ  නොදැනෙන්න

හමන්නට  පිළිකුලත්   ගත   සිතට  රහසේම 

සගවගත්  දිය  කදන්  ඇතිරි  තණ පලසිනේ

උදහසක් නොදෙන්නට දැරූ  වෑයමක සේ



ගොහුරු  මඩෙ සගවගත්  නෙළුම්  බිජුවක් ලෙසේ

නොපෙනෙනා  ජීවිතත්  ගිලී  ගණ  කරුවලේ 

නැගෙන්නට වෙර දරයි  එරී ඇති මඩ ගොඩේ 

පිපී සුදුනෙළුම සේ පියකරුව ලෝකයේ 



ලෝකයා  මිනුම්දඬු  වෙන්කලත්  නම්  තබා 

පරතරය   හිස්  දුවයි   මිනිස්කම්   පාගලා

ඇත්තන්ට ඇති  සැටිත්  නැත්තන්ට නැති සැටිත්

මංදිරේ   ගෙපැල්  තුළ   රජ   කරයි   සිතුමතේ 



දිළිඳුකම හිස ඔසට  ගෙපැල්  ගිනිබත් කරයි 

නොපිරෙනා  කුසට  බත්  ඇට  සෙමින්  ගිල දමයි 

දියව යන  සුදු ඇඳුම්  සිත් දුකින්   බිම  බලයි

උගනින්න  මහ  හොඳට  ගුරුගෙදර  පිය නගයි  



ඉඩෝරය නිමා වී වසන්තය පැමිණෙන්න 

දුක සතුට සමදරා  ජීවිතය ගැට ගසන 

ගොහුරු  දියෙ  විකසිත ව  පිපෙන්නට සුදු නෙළුම් 

දරණ  පිවිතුරු  පැතුම්  හැකිද  සිඳ  බිඳලන්න 



පිපෙන්නට පෙර නෙළුම් නොදැක්කද කිසිවෙකුත් 

පිපී  දිය  හැඩ  කෙළේ  සුවඳවත්  ඒ  නෙළුම් 

බුදු පුදට පිදෙන්නට නොහැකි මුත් හැම පියුම් 

විල් තෙරක් හැඩ කෙළේ  මඩේ  පිපී ඒ  නෙළුම් 


                                                                       සෙව්...✍️









 


Saturday, January 16, 2021

                       උපන්  දිනේ....💔





වසරකින්  වසරකට සැමරුමක් වෙන් කලත් 
හැකි වේද  එදින මට කිසිදිනෙක තුටුවන්න
නොදැක්කත් නෙත් මගේ  ඔබේ රූ කිසිදිනෙක 
ලෝ දකින ඒ දෙනෙත් ඉකිබිදී රහසේම 
කියන්නට කොදුරලා හඩගසා ඔබේ නම 
හිස්තැනකි ඉතිරි වූ සෙනේ බැදි නවාතැන 


මවක ලග නැති බවක් කිසිදිනෙක නොදැනෙන්න 
මව් පියත් එක් නමින් දුන් දෙවිදු අප්පච්චි 
පෑන් පැන්සල් අතේ බහ තෝරනා කල 
නුහුරු වූ මව් සෙනේ දුටිමි මා කුතුහලව
අසන්නට  "අප්පච්චි කෝ මගේ මෑණියන් ?
කදුලු කැට සිනාසුනි බිම සිඹින වේගයෙන් 


තුරුලු කර ගෙන ලයට සිඹින්නට මා නලල 
දුටිමි  වෙව්ලනා තොල් ඉකිබිදින සුසුම් මැද 
දෑත දිගුකර සෙමින් "පේනවද දුර අහස ?
මෑණියන් දෙව්දුවකි තරු අහසෙ සිනාසෙන 
අසන්නට  කෝටියක් ප්‍රශ්න සිත දැගලුවත් 
සුසුම් ලන ඒ දෑස්  ගොලු කෙරුනි මා තෙපුල් 


ලෝකයක් වරින් වර ගතු කියයි විමසමින් 
වරක කම්පාවු නෙත් හෙලයි මා දෙසත්
විටෙක  සැර පරුෂ හඩ කියයි මවු මැරු එකැයි 
නොදැනුනත් එදා එය  අද දෙයි ද පිළිතුරුත්
අළු යටෙක සගවගත්  ගිනි පුලිඟු  විලසගත් 
ඇවිලෙන්න ඉඩ සොයන මග නිබද  සරසමින්


නොදකිනා ඒ රුවක්  බොදව යන සායමින් 
සගවගත් පෙට්ටගම  බලයි  ආයාසයෙන් 
පෑරෙනා  තුවාලය  නිමවුමක්  නොම දෙමින් 
සැමරුමක් සමරම් ද  ජන්මයක් වෙන් කරන්
මතයක්  රිදුම්  දෙන වේදනා  අවුලමින් 
මවත්  සිහිපත්  කරයි  පෙට්ටගමෙ  තනිකමින් 

                                                                 සෙව් ....✍️



 


නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...